- ශ්‍රී ලංකාවේ රූකඩ කලාව -

බොහෝ කලාවන් මෙන්ම රූකඩ කලාව ද ශිෂ්ටාචාරයේ ආරම්භය දක්‌වාම දිවයන්නකි. එය කවදා ආරම්භ වූයේ දැයි නිශ්චය කළ නොහැක. එමෙන්ම කවර රටක ආරම්භ වූයේ දැයි නිශ්චිතවම කිව නොහැක. පෙරදිග මෙන්ම අපරදිග බොහෝ රටවල රූකඩ කලාව පැතිර පවතී.

රූකඩ යන්නට ලතින් බසින් පුපා (pupa) යනුවෙන් ද ප්‍රංශ බසින් පුපී (pupee) ලෙසද, හැඳින්වෙන් අතර ඉංග්‍රීසි බසින් පපට්‌ (puppet) යනුවෙන් ද භාවිත කෙරේ. මෙම කවර වදන් භාවිත කළද ඉන් අර්ථවත් වන්නේ බෝනික්‌කා (doll) යන අර්ථයයි. "පුත්‍රකා" "පුත්‍රිකා" පුත්තලිකා යනු සංස්‌කෘත සාහිත්‍යයේ හමුවන පදවලින් ද අර්ථවත් වන්නේ එම අදහසයි. මෙවැනි බෝනික්‌කන් හෙවත් රූකඩ, සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ ආදි මානවයා විසින් ද නිර්මාණය කර තිබේ. තමන් ඉදිරියට එන විශාල වන සතුන් බිය වැද්දීම සඳහා ඔවුහු මේවා භාවිත කළහ.

විද්‍යාත්මක ක්‍රමයට ලෝකය අවබෝධ කරගැනීමට ප්‍රථම මිනිසා නොයෙක්‌ මිත්‍යා විශ්වාසවල එල්බගෙන සිටි බව පැහැදිලිය. තමන්ට අවබෝධ කොටගත නොහැකි වූ බොහෝ දේ ඔවුන්ට දක්‌නට ලැබිණි. ඉර සඳ ජලය ආදි චලන වස්‌තු කෙරෙහි බියමුසු ගෞරවයන් ඔවුන් තුළ විය. ඔවුන් විසින් මේවා අවබෝධ කරගන්නා ලද්දේ තමාට වඩා ශක්‌තිමත් බලවේග ලෙසිනි. එනිසා ඒවාට දේවත්වය ආරෝපණය කරන්නට ඔවුහූ පෙළඹණහ. එම දෙවියන් නිරූපණයට චලන රූප භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙලෙස රූකඩ කලාව ආරම්භයේ දී ආගමික මුහුණුවරක්‌ ගෙන තිබේ. මළගිය ආත්ම කෙරෙහි විශ්වාසය තැබූ පැරැණ්‌නෝද එම ආත්ම ගස්‌ ගල් පර්වත වැනි ස්‌ථානවල වෙසෙන බව සිතා එම ස්‌ථානවල රූප එල්ලා තැබීමට පුරුදු වූහ. එම මියගිය ආත්මවලින් තමාට හිරිහැර පැමිණෙතැයි විශ්වාස කළ අවස්‌ථාවල තම රූපය වෙනුවට රූපයක්‌ පිදීම සිදුකරන ඇති බව විශ්වාස කළ හැකියි. අවුරුදු දහස්‌ ගණනකට පෙර චීන අධිරාජයකුගේ සොහොන් කොත්වලින් හමුවූ සෙල්ලිපිවල රූකඩ පිළිබඳව සටහන් අන්තර්ගත වී ඇති බවත් එමෙන්ම ඊජිප්තුවේ පාරා රජවරුන්ගේ සොහොන් කොත්වල රූප තිබුණු බවත්, රූකඩ රූපණ කලාව, නම් ග්‍රන්ථ රචනා කරමින් සිරි කුමාරසිංහයෝ පවසති.

එහෙත් මෙම රූකඩ නාට්‍ය කලාවක්‌ ලෙස ආරම්භ වූයේ කවර කලකදැයි නිශ්චිතව කීමට නොහැකිය. කල්යැමේදී විනෝදාත්මක අගය වටහාගත් පිරිස්‌ සංවිධානය වීමෙන් පාරවල් අසල හංදිවල, ගස්‌ යට දර්ශන පැවැත් වූ බව අනුමාන වශයෙන් සිතිය හැකිය. මුලින්ම මෙය ප්‍රංශ නාට්‍ය සංචාරකයන් විසින් අනුගමනය කරන ලැදැයි puppetry in Ceylon නම් ග්‍රන්ථයේ මහාචාර්ය ජයදේව තිලකසිරි මහතා දක්‌වා තිබේ.
ශ්‍රී ලංකාවේ රූකඩ නාට්‍ය කලාව පැවති බවට දැක්‌වෙන් ඓතිහාසික සාධක දුර්ලභය. ගජබා රජුගේ රාජ්‍ය අල්ලා ගැනීම පිණිස මහ පැරකුම්බා රජු විසින් සංගීත නැටුම් ආදියෙහි දක්‍ෂතා ඇති ජනයා සම්රූ ආදී ක්‍රියාවල දක්‍ෂතා ඇති අයගේ වේශයෙන් චරපුරුෂ සේවයෙහි යෙද වූ පුවතක්‌ මහා වංසයේ සඳහන් වේ.

"දෙමළ ආදී නොයෙක්‌ දෙනා අතුරින් නෘත්‍ය ගීතයන්හි දක්‍ෂ වූවන් සම්රූ ආදී කෙළි දන්නවුන් බඳු කොට හැසිරවී"

රූකඩ යන්නෙන් අද ලංකාවේ සම්මතව ඇත්තේ ලීයෙන් කළ රූපයක්‌. මෙම මහා වංශයේ එන "සම්රූ" යන්න පාලි "චම්ම රූප" යන්නෙන් බිඳුනකි. (චම්ම රූප - සම්රූ) එහි අදහස සමින් කරන ලද රූපයක්‌ යන්නයි. එබැවින් මහාවංස පුවතින් දැක්‌වෙන්නේ චීනය, සියමය, ඉන්දුනීසියාව වැනි රටවල පවතින සෙවණැලි රූකඩ දැයි විමසිය යුත්තකි.

දේව රූප හා සත්ත්ව රූප යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් රඟ දැක්‌වූ බව සාහිත්‍ය කෘතීන්හි දක්‌නට ඇත. දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමා උපන් සිරිවර්ධන නුවර විහාරයක්‌ කර එයට පුද පූජා කළ අවස්‌ථාවෙහි එවන් රූප රඟ දැක්‌ වූ බව සඳහන් වේ.

"සේසත් ගෙන පෙළ සැදී නටන්නා වූ යන්ත්‍රයෙන් නිමවන ලද මනහර වූ බඹරු වළල්ලෙන් ද හිස ඇඳිලි බැඳගෙන සකසා හැසිරෙන්නා වූ නන් වන් දරණ යන්ත්‍ර රූපයෙන් කළා වූ දේව රූපයෙන් ද මහා සමුදුරු මොනවට නැංගවූ රළමාලා බඳු කාන්ති ඇති ඒ ඒ තැන දුනන්නා වූ යන්ත්‍රයෙන් කරන ලද අස්‌රූ වළල්ලෙන් ද පොළෝ තෙල බටුවා වූ වළාවෝ දෝයි සැක උපදවන්නා වූ හස්‌ත්‍යාලංකාර ධරවූ යන්ත්‍ර රූ ඇතුන්ගෙන්ද යන ......."

මහා වංශයේ සඳහන් යථෝක්‌ත අවස්‌ථාව පූජාවලියෙහි මෙසේ සඳහන් වේ.

"ඒ. ඒ. දික්‌හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්‌තිරූප පඬික්‌තීන් හා පූජාලෝලීන් දිවූ සමුදුරාජයාගේ මහරළ පෙළ සේ. ඒ. ඒ. දික්‌හි යන්ත්‍ර බලයෙන් දිවෙන අශ්වරූප පඹේකිතීන් හා ......"

මෙකී සාහිත්‍ය ගත තොරතුරු අනුව මෙකල කිසියම් ආකාරයකට රූකඩ නැලවීම කළ බව සිතිය හැකිය. එහෙත් මෙම රූකඩ, කතාන්දර නිරූපණයට භාවිත කළ බවට නිශ්චිත සාධක නොමැත.

ලංකාවේ වර්තමාන රූකඩ නාට්‍යයේ ආරම්භය නාඩගමට වඩා පැරැණි නොවන බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ අදහසයි. (සිංහල ගැමි නාටකය- එදිරිවීර සරච්චන්ද්‍ර 1968) 19 වන ශත වර්ෂයේ අග භාගයේදී නාඩගමට තිබූ තැන නැතිවී ඒ වෙනුවට නූර්තිය ජනප්‍රිය වීමට පටන් ගෙන තිබේ. ස්‌වාභාවිකත්වයට ළංවීම, ස්‌ත්‍රීන් රඟපෑම, ගෑස්‌ බලය භාවිතය ආදී කරුණු නිසා නූර්තිය ජනප්‍රිය විය. මේ නිසා නාඩගම් ශිල්පීහු රූකඩ මගින් නාට්‍ය පෙන්වීමට පෙළඔණහ. රූකඩ සඳහා යොදාගන්නා කතා වස්‌තූන් බොහොමයක්‌ම නාඩගම්වල තිබුණ කතාවස්‌තූන්මය. වෙස්‌සන්තර නාඩගම, කාලගෝල නාඩගම හා ඇහැලේපොල නාඩගම ජනාදරයට පත්වූ රූකඩ නාට්‍ය කිහිපයකි. ඇහැලේපොල නාඩගමට අයත් චරිතවලට අදාළ රූකඩ හතළිස්‌ හතක්‌ බටහිර ජර්මනියේ මියුනික්‌ නුවර ජනකලා කෞතුකාගාරයේ අදටත් දක්‌නට ලැබේ. ජයදේව තිලකසිරි අභිනන්දන ග්‍රන්ථයට The Development of puppetry in Sri Lanka නම් ලිපියක්‌ ලියන මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතා පවසන්නේ මියුනික්‌ කෞතුකාගාරයේ ඇති එක්‌ රූකඩයක් අම්බලන්ගොඩ පොඩිසිරිනා ගුරුන්නාන්සේ විසින් සකස්‌කරන ලද බවයි. ඒවා අම්බලන්ගොඩ සිල්වා නමැති ව්‍යාපාරිකයකු නමින් බටහිර ජර්මනියට විකුණා ඇති බවයි. මෙම කරුණු මගින් පැහැදිළි වන්නේ මුල්කාලීන රූකඩ කතා ලෙසට යොදාගත්තේ නාඩගම් කතා බවයි. නාඩගම් සඳහා විශාල ශිල්පීන් සංඛ්‍යාවක් සහභාගි කරවා ගැනීමට සිදුවීමත්, ඒ සඳහා යන වියදමත්, කාලයත් ගැන සැලකිලිමත් වූ නාඩගම් ශිල්පීන් තමන් නිර්මාණය කළ කතා වස්‌තු, වාද්‍ය භාණ්‌ඩ, වෙස්‌ නිර්මාණය උපයෝගි කරගෙන රූකඩ මගින් නව නාට්‍ය කලාවක්‌ හඳුන්වා දෙන ලද බව සිතීමට හැකිය.

කතෝලික පාස්‌කු ද මුල් යුගයේ රඟ දක්‌වනු ලැබුවේ රූකඩ මගිනි. මීගමුවේ පිටිපන ගමෙහි ගඩොලින් හා සිමෙන්තියෙන් සාදන ලද විශේෂ පාස්‌කු මඩුවක්‌ පිළිබඳව එදිරිවීර සරච්චන්ද්‍ර මහතා "සිංහල ගැමි නාටකය" ග්‍රන්ථයේ සඳහන් කරයි. එම විස්‌තරය පාස්‌කු නාට්‍ය හා රූකඩ අතර කිසියම් සම්බන්ධයක්‌ දක්‌නට ලැබේ. අවුරුදු තුන්සියයක්‌ පමණ කල් සිට පාස්‌කු නාට්‍ය පැවත එන නමුත් රූකඩ නාට්‍ය කලාවට විශේෂ බලපෑමක්‌ ඇති කිරීමට එය සමත් වී නොමැත.

ලංකාවේ පැරැණි ගැමි නාටක විශේෂයක්‌ ලෙසට කෝලම් නාටක පිළිගෙන තිබේ. මෙය ද ලංකාවේ දකුණු මුහුදුබඩ ප්‍රදේශයේ කලකට පෙර බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය. කෝලම්වලදී වැදගත් ලක්‍ෂණයක්‌ වනුයේ වෙස්‌ මුහුණු පැළඳීමයි. නැටුමෙන් හා දෙබස්‌වලින් මතුකරන රසය එහි වෙස්‌මූණෙන් වඩාත් තියුණු වේ. මෙම වෙස්‌මුහුණු කැපීම හා සායම් කිරීම ද සිදුකරන්නේ එම ශිල්පීන් විසින්මය. එලෙස ලීයෙන් වෙස්‌මුහුණු කැපීමට පුරුදු වූ ශිල්පීන්ට රූකඩ කැපීම හා නැටවීම කරන්නට ඇතැයි ඇතමෙක්‌ විශ්වාස කරති. එහෙත් වෙස්‌ මුහුණු සඳහා හා රූකඩ සඳහා ප්‍රසිද්ධියක්‌ උසුලන අම්බලන්ගොඩ ප්‍රදේශයේ කිසිදු රූකඩ ශිල්පියෙක්‌ අද වනවිට නම් කෝළම් නැටීම සිදු නොකරයි.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි අම්බලන්ගොඩ කරාව කුලයට අයත් පිරිස්‌ නොයෙක්‌ අන්දමේ ගැමි කලාවන්ට හිමිකම් කියති. නොයෙක්‌ වැදගත් අවස්‌ථාවල කරනු ලබන පුද පූජා ඇදහිලි පිළිබඳව ද කෝළම් හා නාඩගම් පිළිබඳව ද අතීතයේ සිට අම්බලන්ගොඩ ප්‍රසිද්ධය. නාඩගම් අභාවයට යැමත් සමග බිහිවූවක්‌ ලෙස සැලකෙන රූකඩ කලාව ද අම්බලන්ගොඩටම කේන්ද්‍රගත විය. 1952 පමණ වනවිට තමන් කළ පර්යේෂණයකට අනුව ලක්‌දිව රූකඩ නාට්‍ය කණ්‌ඩායම් පහක්‌ පමණ සිටිය බවත් ඔවුන් සියල්ලන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයට අයත් වූ බවත් මහාචාර්ය සරච්චන්ද්‍ර සඳහන් කරයි. (සිංහල ගැමි නාටකය" 1968,173 පිටුව)

වර්තමානයේ අම්බලන්ගොඩ එකම පරපුරකට අයත් ශිල්පීන් රූකඩ කණ්‌ඩායම් වශයෙන් සකස්‌ කරගෙන එම ශිල්පයෙහි යෙදී සිටින බව පෙනේ. මෙම කණ්‌ඩායම් සියල්ලකම රූකඩ කලාවේ පොදු සම්ප්‍රදායන් හා කුසලතා දක්‌නට ලැබේ. අම්බලන්ගොඩ මුල්ම රූකඩ ශිල්පීන් පිළිබඳ විවිධ මත පවතී. රූකඩ කලාව පිළිබඳව පර්යේෂණ කිහිපයක යෙදී ඇති ආචාර්ය ජයදේව තිලකසිරි, මුල්ම රූකඩ ශිල්පීන් ලෙස සුරතන්, බාලයා හා පොඩිනේරිස්‌ ගුරුන්නාන්සේ යන තිදෙනාගේ නම් සඳහන් කරයි. (The Puppet theatre of Asia ,1968,P.30) මෙම තිදෙනා ළඟ රූකඩ විශාල ප්‍රමාණයක්‌ තිබී ඇත. පසුව එම සියල්ල පොඩිනේරිස්‌ ගුරුන්නාන්සේ අතට පත්වී තිබේ. ඉන්පසු ඔහුගේ ශිෂ්‍ය පරපුරට මෙය අයත් වී තිබේ. එකිනෙකා තම තමන්ගේ පෞද්ගලික දක්‍ෂතා ද එක්‌කරමින් රූකඩ කලාව වර්ධනය කරන්නට ඇත. මෙම පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ ශිෂ්‍යයන් අතර තරගකාරීත්වයක්‌ ඇතිවී දක්‍ෂ ශිෂ්‍යයෝ වෙන් වෙන් වශයෙන් රූකඩ කණ්‌ඩායම් ආරම්භ කළහ. මෙසේ වෙන්වී ගිය කණ්‌ඩායම් නායකයන් ලව්නේරිස්‌, ජයනේරිස්‌, ඩැනියෙල්, හා ජේම්ස් යන සිව්දෙනාය. මෙම එක්‌ රූකඩ කණ්‌ඩායමකට ශිල්පීන් අටත් (08) දහයත් අතර පිරිසක්‌ වූහ. මෙයින් පස්‌දෙනෙක්‌ නූල් මගින් රූකඩ ක්‍රියාත්මක කිරීමට පුරුදු වූ ස්‌ථිර සාමාජිකයෝ වූහ. අනෙක්‌ අය ගායකයන් වාදකයන් හා වේදිකා පරිපාලකයන් ලෙස කටයුතු කළහ.

මින් ලව්නේරිස්‌ දක්‍ෂ රූකඩ ශිල්පියෙකි. රූකඩ සායම් කිරීමට ද ඇඳුම් නිර්මාණයට ද රූකඩ නැටවීමටද ඔහු දක්‍ෂයෙකි. එමෙන්ම ඔහු ගායකයෙකු මෙන්ම වාදකයෙක්‌ ද විය. ඩැනියෙල් හා ජේම්ස්‌ යන දෙදෙනා වඩාත් දක්‍ෂ වූයේ රූකඩවල ඇඳුම් නිර්මාණයටය.

තවත් කෙනෙකුගේ අදහස වන්නේ කරුණාච්චිගේ දිසංචිනා සහ ගම්වාරි පුල්ලියා යන දෙමහල්ලන්ට දාව උපත ලැබූ ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේ අම්බලන්ගොඩ රූකඩ නාට්‍ය කලාවේ ආරම්භකයා බවයි. මොහු ජීවත් වූයේ අම්බලන්ගොඩ කන්දෙගොඩ පාළු කුරුඳුවත්තේය. මෙම මතය ගත්තවුන් පවසන්නේ අම්බලන්ගොඩ කන්දෙගොඩ හා පරගහතොට යන ප්‍රදේශවල රූකඩ කැපීම විනෝදාංශයක්‌ ලෙස කරන්නවුන් සිටි බවත් ඒ අය එක්‌කරමින් රූකඩ නාට්‍ය කණ්‌ඩායමක්‌ ලෙසට සකස්‌ කිරීම කළ පළමුවැන්නා ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේ බවයි.

පොඩිසිරිනා ගුරුන්නාන්සේ අම්බලන්ගොඩ රූකඩ කලාවේ පියා ලෙසට පිළිගැනුන ද පොඩිසිරිනාගේ පියා සහ සීයා ද රූකඩ කලාකරුවන් බවට තවත් මතයකි. පොඩිනේරිස්‌ගෙන් පසුව සිටි ශිෂ්‍යයන් ලෙස ඩැනියෙල් සහ ඡේමිස්‌ යන නම් දෙකක්‌ ජයදේව තිලකසිරි මහතා සඳහන් කරයි. (The Puppet theatre of Asia ,1968,P.30) එමෙන්ම ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ පුතුන් දෙදෙනකු ලෙස සඳහන් වනුයේ ද ගම්වාරි ඩැනියෙල් සහ ගම්වාරි ජේම්ස් යන දෙදෙනාය. එනිසා ජයදේව තිලකසිරි මහතා සඳහන් කරන පොඩිනේරිස්‌ ගුරුන්නාන්සේ හා ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේ යනු දෙදෙනකු නොව එක්‌ අයෙකු විය හැකිය.

1870 වර්ෂයෙහි ලංකාවට පැමිණි එඩිම්බරෝ ආධිපාදයා ඉදිරියෙහි බගතලේ වලව්වේදී රූකඩ සංදර්ශනයක්‌ පෙන්වීමට ඉදිරිපත් වූයේ පොඩිසිරිනා ගුරුන්නාන්සේ බව කියවේ. පොඩිසිරිනා ගුරුන්නාන්සේ විසින් එහිදී ඇහැලේපොල නාඩගම රූකඩ මගින් ඉදිරිපත් කර ඇත. ඉන් සතුටු වූ රාජ කුමාරයා රන් පදක්‌කමක්‌ හා මුදලින් රු. 500 ක්‌ පිරිනමා තිබේ. මෙම ඇගයීමෙන් පසු රූකඩ නාට්‍ය කලාවට සමාජයේ සැලකිල්ලක්‌ දක්‌වන්නට පටන්ගෙන තිබේ. මින් පසු ඇහැලේපොල නාඩගම වසර 19 ක්‌ නොකඩවා ඇසළ උත්සවයට පෙන්වා තිබේ. මෙලෙස රූකඩ ජනප්‍රිය කලාවක්‌ බවට පත් කිරීමට අම්බලන්ගොඩ ශිල්පීන් නොමඳ දායකත්වයක්‌ සපයා ඇත.

පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ සමකාලීනයන් ලෙසට සඳහන් වන්නේ.
අම්බලන්ගොඩ කන්දෙගොඩ බබානිස්‌ ගුරුන්නාන්සේ
අම්බලන්ගොඩ බෝගහවත්තේ සුරතන් ගුරුන්නාන්සේ
අම්බලන්ගොඩ රන්දොඹේ බාප්පු ගුරුන්නාන්සේ යන රූකඩ ශිල්පීන්ය.

පොඩිසිරිනා ගුරුන්නාන්සේගෙන් පසුව ඔහුගේ පුතුන් වන ගම්වාරි ඩැනියෙල් හා ගම්වාරි ජේමිස්‌ යන දෙදෙනා රූකඩ නාට්‍ය කලාවේ පුමුඛයෝ වූහ. සුරතන් ගුරුන්නාන්සේගේ පුත් ගම්වාරි ලව්නේරිස්‌ ද මීට සමකාලීනයෙකි. මීට අමතරව චාර්ලිස්‌ සිල්වා ගුණසිංහ අහුන්ගල්ලේ කඳලපිටියේ පොඩිනේරිස්‌ ගුරුන්නාන්සේ, අහුන්ගල්ලේ කඳන්පිටියේ ගිරෙන්නා විදුන ගුරුන්නාන්සේ
අම්බලන්ගොඩ බෝගහවත්තේ සිච්චා ගුරුන්නාන්සේ
වැලිතර සන්ද‍ෝරිස්‌ ගුරුන්නාන්සේ
අම්බලන්ගොඩ කැපුඇල කන්දේ සිනෙච්චි ගුරුන්නාන්සේ යන අයද එම යුගයේ රූකඩ ශිල්පීන්ය.

මෙම ඩැනියෙල්, ජේමිස්‌ හා ලව්නේරිස්‌ යන තිදෙනා එක්‌ව වාර්ෂිකව අනුරාධපුරයේදී රූකඩ සංදර්ශන පැවැත්වීම කරගෙන ආ අතර එක්‌ වසරක අනුරාධපුරයේදී ඇති වූ මතභේදයක්‌ හේතුවෙන් ලව්නේරිස්‌ මහතා ඉන් වෙන්ව වෙනම කණ්‌ඩායමක්‌ සාදාගෙන තිබේ. මෙතෙක්‌ කලක්‌ රූකඩ නැටවීම සිදුකළේ පිරිමි පමණි. ලව්නේරිස්‌ මහතා ප්‍රථම වරට තම කණ්‌ඩායමට ස්‌ත්‍රීන් ද එකතු කරගෙන තිබේ.

වර්තමානයේ ද මෙම පරපුරෙන් පැවතෙන්නෝ අම්බලන්ගොඩ රූකඩ කලාව කරගෙන යති. ඩැනියෙල් ගම්වාරිස්‌ පුත් මාටින් සේපාල මහතා "සීගිරි" නමින් රූකඩ කණ්‌ඩායමක්‌ පවත්වාගෙන ආ අතර මෑතකදී අභාවප්‍රාප්ත විය. ගම්වාරි ඡේමිස්‌ගේ පත් ගම්වාරි ප්‍රේමින් මහතා "ගාමිණී" නමින් රූකඩ කණ්‌ඩායමක්‌ ද ගම්වාරි ලව්නේරිස්‌ගේ පුත් නලින් ගම්වාරි මහතා "අනුර" නමින් රූකඩ කණ්‌ඩායමක්‌ ද පවත්වාගෙන යති.

වර්තමානය වනවිට අම්බලන්ගොඩ මෙම පරම්පරාවලින් පැවතගෙන එන ශිල්පීන්ට අමතරව මෙම පවුල්වලට විවාහ සම්බන්ධතා මගින් සම්බන්ධ වූ පවුල්වල පිරිස්‌ ද අලුතින්ම මෙම ශිල්පය ඉගෙනගන්නා වූ තරුණ පිරිස්‌ද රූකඩ කලාවේ නියැලෙති. රූකඩ කලාව සඳහා ශිල්පියාගේ පවුලේ සියලුම දෙනා සම්බන්ධ වී සිටීම විශේෂ කාරණයකි. තමන්ගේ පරපුරට පමණත් ආවේණික වූ මෙම ශිල්පයෙහි ගුරුමුෂ්ටිය ආරක්‍ෂා කරගැනීමට ඔවුහූ උත්සාහ ගනිති. අම්බලන්ගොඩ රූකඩ කලා ශිල්පී පරපුර මහත් උත්සාහයෙන් අද දක්‌වාම මෙම කලාවේ යෙදී සිටීම ප්‍රශංසාව හිමි විය යුතු කරුණකි.

ඉංග්‍රීසි බසින් පපට්‌ (Puppet) ඇමෙරිකානුවන් (muppet), ප්‍රංශ බසින් (pupee) ලතින් (pupa), ඕලන්ද ((poppen), දෙමළ බසින් බොම්මලාට්‌ටම් ලෙසින්ද සිංහල භාෂාවෙන් රූකඩ ලෙසින්ද හැඳින්වෙන මෙකී කලා මාධ්‍ය එහි භාවිතාව අනුව වර්ගීකරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් භාවිත කරන නූල් රූකඩ ලෝක ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ මැරියනයිට්‌ (Marionette) නමිනි. ස්‌ට්රින්ග් පපට්‌ (string puppets) ලෙසද හැඳින්වේ. රිටි රූකඩ (Rod puppets) අත් රූකඩ (Glove puppets) සෙවනැලි රූකඩ (shadow puppets) වෙස්‌ මුහුණු රූකඩ (Mask puppets), අඳුරු කුටි රූකඩ (Black theatre pappets), ඇඟිලි රූකඩ ((Finger puppets), රිටි හා නූල් මිශ්‍ර රූකඩ (Rod and thread Manipalations) ක්‍ෂුද්‍ර රූකඩ (Micro puppets), ජ්‍යාමිතික රූකඩ (Two dimension puppets), විද්යුත් රූකඩ ((Electronic puppets), සහ දැවැන්ත රූකඩ ((Mammoth puppets), යනුවෙන් රූකඩ එහි භාවිතාව අනුව හඳුන්වයි.

Comments

Popular posts from this blog