රංගාලෝක කාර්යය 01 .............

දෘශ්‍යමාන වීම (Visibity)
මෙයින් අදහස් කරන්නේ චරිත සහ පසුතලය පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීමයි. ප්‍රේක්ෂකයාට නළු නිළි චරිතවල ඉරියව් ඉස්මතු කොට පෙන්වීම වැදගත්. වේදිකාවේ අප විසින්ම සඟවා තැබීමට උත්සාහ කරන දේ නොපෙනී තිබීමත් මේ කාරණාවට අයත්. පසුතල නිර්මාණයක් එල්ලා තිබෙනවා යයි සිතමු. එය එල්ලී තිබිය යුතු සේම එල්ලන ලද කඹ, නූල් හෝ කම්බි නොපෙනෙන්නේ නම් වඩා යහපත්. බිම සිටුවා තැබෙන පසුතල ආධාරක ආදිය ද නොපෙනී අවශ්‍ය පරිසරය පමණක් දෘෂ්‍යමාන විය යුතුයි.

එමෙන්ම මෙම දෘෂ්‍යමාන වීමේ දී රූපය ත්‍රිමානව වේදිකාව තුළ මැවීමට උත්සාහ දැරිය යුතුයි. ඒ සඳහා ඔහු යොදා ගන්නා වර්ණ, පහන්, භාවිතා කරන කෝණ ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටින ප්‍රේක්ෂකයාට නළු නිළියන් පැහැදිලිව දැක ගැනීමට සිටි තැනින් එහා මෙහා යාමට හැකියාවක් නැහැ. මේ නිසා ආලෝකකරණය ඒ අවශ්‍යතාව මැනවින් සපුරාලිය යුතුයි. අවධාරණයෙන්ම නළුවෙකු හෝ සිද්ධියක් අඳුරු පරිසරයකට යොමුකොට දෘශ්‍යමාන වීම වළක්වන්නේ නම් ඊට හේතු තිබිය යුතුයි.
සත්‍යරූපී බව, තාත්විකත්ත්වය (Plausibility)

නාට්‍යය අනුකාරාත්මක ක්‍රියාවලියක් බව බොහෝ පණ්ඩිතයන් පවසනවා. එය අනුකරණය කරනවාක් මෙන්ම ප්‍රතිනිර්මාණය ද විය යුතුයි. රංගාලෝක ශිල්පයේදීත් ස්වාභාවික ආලෝක මූලාශ්‍ර අනුකරණය කරනවා. එහෙත් ඒවා නිර්මාණාත්මකයි.

ආලෝක සැලසුම් කිරීමේදී යොදා ගත් ආලෝක මූලාශ්‍ර ස්වභාවිකව සකස් වීම සත්‍යරූපී බව පෙන්වීමට හැකියාව ඇති කරනවා. උදාහරණ: වේදිකා පසුතලයේ ඇති ජනෙල් කවුළුවකින් කාමරය ඇතුළට හිරු එළිය කාන්දු වෙනවා යයි සිතමු. ප්‍රධාන ආලෝකය එය වුණත් කාමරය ඇතුළත බිත්ති මත පතිත වී පරාවර්තනය වන ආලෝකයක් තිබෙනවා.

මෙ පරාවර්තිත ආලෝකයේ බලය අර ඉහත කී ප්‍රධාන ආලෝකයට වඩා අඩුයි. මේ ආලෝක ධාරාවන් දෙකම කාමරයේ නොයෙක් වස්තු වලට සහ සිටින පුද්ගලයාගේ ශරීරය මත පතිත වෙනවා. එවිට නිතරම ප්‍රධාන ආලෝකය එන පැත්ත නැතිනම් ජනේලය පැත්ත දීප්තිමත් වන අතර, සෑම වස්තුවකම පුද්ගලයකුගේම ජනේලය පැත්තේ තලයෙන් වැඩියෙන් ආලෝකමත් වෙනවා. අනෙක් පැත්ත ආලෝකමත් වුණත් බලයෙන් අඩුයි. මේ නිසාම එළිය අඳුර අතර තදකම අඩු වැඩි කරනවා.

මෙමගින් විලක්ෂණය ඇති වෙනවා.මෙවැනි කාරණා අනුව ප්‍රධාන ආලෝකය පැමිණෙන්නේ කොහි සිටද? පරාවර්තිත ආලෝකය පැමිණෙන්නේ කොහි සිට ද යන්න පිළිබඳ අවබෝධය නැතිව විවිධ පැතිවලින් ආලෝක මූලාශ්‍ර පැමිණෙන ආකාරයෙන් ජවනිකා සැලසුම් කළොත් එම දර්ශනයේ සත්‍යරූපී බව නැතිව යනවාට සැකයක් නැහැ. අවස්ථා ආලෝකනය කිරීමේ දී තවදුරටත් සාර්ථක වන්නේ රංගාලෝකය සඳහා භාවිතා කරන පහන් දැල් වුණේද? හදිසියේ කාමරයේ ආලෝකය වැඩි වුණා නේද? යනාදී වශයෙන් ප්‍රේක්ෂකයින්ට නොදැනෙන්නට වග බලා ගැනීමෙන්.

නාට්‍යයේ රිද්මයට අනුව ශිල්පියා නිර්මාණය තුළ ජීවත් විය යුතුයි. නමුත් මේ විශේෂ ප්‍රයෝග යෙදීමේ දී පහන්වල ආලෝකය අඩු වැඩි වීම ප්‍රේක්ෂකයාට දැනෙන්න පුළුවන්. එපරිද්දෙන් සිදු වන වෙනස්කම් නාට්‍යයේ සිද්ධියට අදාල නම් සමස්තයක් වශයෙන් නාට්‍යයේ එවැනි ප්‍රයෝග භාවිත වේ නම් ප්‍රේක්ෂකයා එවැනි ප්‍රයෝග විශ්වාස කරනවා.

ඉහත ඡේදයේ සටහන් වූයේ දර්ශන සැලසුම් කිරීමත් සමඟ රංගාලෝක ශිල්පියා නාට්‍යයේ රිද්මය අවබෝධ කර ගැනීමත් වටිනා කාරණයක් බවයි. රංගාලෝකය වේදිකාවේ භාෂාවක් බවට පත්වෙද්දී එම කරුණ වැදගත්.

සංයෝජනය (Composition)
තුන්වන අදියර වන්නේ සංයෝජනයයි. මෙයින් අදහස් කරන්නේ වේදිකා නාට්‍යයෙන් අධ්‍යක්ෂවරයා අවධාරණයෙන් ඉස්මතු කරන්නට බලාපොරොත්තු වන අවස්ථා ආලෝකය මගින් තීව්‍ර කිරීමයි. ඉහත සත්‍ය රූපී බව පිළිබඳව සාකච්ඡා කරද්දී ගොනු කර ගත් කාරණා මත පිහිටා අවස්ථා ආලෝකනය කළ යුතුයි. එවිට රංගාලෝක ශිල්පියා කරුණු දෙකක් සිහි තබා ගත යුතුයි.

(1) ආලෝක මූලාශ්‍ර රැකීම, සත්‍ය රූපී බව ආරක්ෂා කිරීම.
(2) විශේෂ අවස්ථා ආලෝකනය කිරීම.

අඩුවෙන් අවධානය යොමු කළ යුතු තැන් ඒ අයුරින්ද, වැඩිවෙයන් අවධානය යොමු කළ යුතු තැන් ඒ අයුරින් ද මතු කළ යුතු වේ. මේ ක්‍රියාවලියේදී ආලෝකයේ වර්ණ හා පරිමාවන් පිළිබඳව ශිල්පියාට අවබෝධයක් තිබීම වැදගත්. ඒ වගේම තාත්විකත්වයට වඩා මෙහිදී වැදගත් වන්නේ නිර්මාණකරුගේ අදහස ගෙන යාමයි.

මනෝභාව (Mood)
ඉහත සඳහන් කළ සංයෝජනය, සත්‍යරූපී බව හා දෘෂ්‍යමාන වීම යන කරුණු තුනට වඩා ප්‍රබල වන්නේ චරිතවල මනෝභාවයයි. නිර්මාණයක් මුල සිට අග දක්වා ගලා යන්නේ යම් කිසි රටාවකටය. ඒ රටාව තුළ රංගාලෝකය වර්ධනය විය යුතුමයි. චරිතවල මනෝභාවය අනුව තාල වේගය (Tempo) ලය හඳුනා ගත යුතුයි. ආලෝක නිර්මාණකරුවා තුළ එවැනි සංයමයක් නොමැති නම් නිර්මාණයක මූලික හරය නිර්මාණයෙන් ඉවත් වේ. මෙවැනි හැඟීමකින් රංගාලෝකය හසුරුවන ශිල්පියා නළුවෙකුගේ කාර්යයම ඉටු කරයි. ප්‍රායෝගිකව එවන් ශිල්පියෙකු දෙස බලා සිටියොත් ඒ බව ඔප්පු වේ.

ආලෝකයේ ගුණාංග
(The Qualities of Light)

ප්‍රබල ගතිය (Intensity)
ඉහත අප කතා කළ දෘෂ්‍යමාන වීම, සත්‍ය රූපී බව, සංයෝජනය සහ භාවයන් ආදිය එකට රඳවා ගෙන එක හුයක් මෙන් යන තවත් කොටස් හතරක් ඇත. එහි පළමුවැන්න ප්‍රබල ගතියයි. ආලෝකයේ දීප්තිමත් ගතිය විශාල දුරකට ගමන් කරයි. ඒවා අවශ්‍ය අවස්ථාවලදී අනාවරණය කිරීමත් ආවරණය කිරීමත් යන දෙකම තේරා ගැනීම වැදගත් කටයුත්තකි. මේ නිසා මූලිකව අදහස් කරන්නේ ආලෝකයේ දීප්තිය පාලනය කිරීමයි. ඒ සඳහා භාවිතයට ගන්නේ ඩිමරය නැමති උපකරණයයි.

වර්ණ (Colour)
වර්ණ ආලෝකයේ ඊළඟ අංකයයි. වර්ණ තෝරා ගැනීම නිර්මාණකරුවා යටතේ පාලනය වේ. නිර්මාණයක වටිනාකම රඳා පවත්වා ගැනීමට වර්ණ යෙදීම ඉවහල් වේ. වීදුරු ප්‍රිස්මයකින් වෙන වෙනම වර්ණ ගලා යන්නාක් මෙන් වෙන වෙනම තෝරා ගත් සියුම් වර්ණ ධාරා මගින් නළුවාගේ මුහුණ පියකරු මුහුණ බවට පත් කරන්නටත්, විරූපි කරන්නටත්, පසුතල නිර්මාණයේ වර්ණ සෝදා හැරීමටත් ක්ෂණයකින් පුළුවන්. උදාහරණයක් හැටියට සුදු ඇඳුමකට රතු ආලෝකය ලැබුණා යයි සිතමු. එවිට ගම්‍ය වන අරුත වෙනෙකකි.
නැත්නම් කහපාට පසුතලයකට රතු සහ නිල් ආලෝක සම්මිශ්‍රව යෙදේ යයි සිතමු. අඳුරු වර්ණයකට යොමු වීමෙන් පසුතලයේ මුල් වර්ණය නැති වී යන්නට පුළුවන්. වර්ණයකින් ඇඳුමක් මතු කර පෙන්වන්න, නළුවෙකු මතු කර පෙන්වන්න නැත්නම් පසුතලය මතු කර පෙන්වන්න හෝ මේ සියල්ල නැති කර දමන්නට හැකියාව තිබෙනවා. වර්ණ පිළිබඳව අවබෝධය වැදගත් වන්නේ මේ නිසයි.

පැතිරීම (Distribution)
ආලෝකය යනු යමක් පෙන්වීම සඳහා ස්වභාවයෙන්ම අපට ලැබී ඇති දායාදයක්. ආලෝකය ලබා ගැනීම සඳහා භාවිතා කරන පහන් තුළින් පැමිණෙන්නේ කෙළින්ම විහිදුණු රේඛාවක් මෙන් එළියක්. මෙහි එක වාසියක් තිබෙනවා. වේදිකාවේ නොයෙක් වැදගත් අවස්ථා, විශේෂයෙන් නාට්‍යය පෙන්වද්දී එළිය අඩු වැඩි කිරීමෙන් පහන් භාවිතා කොට යමක් තදින් මතු කර පෙන්වන්නට පුළුවන්. නමුත් සාමාන්‍ය ආලෝකනය කරද්දී විශාල ප්‍රදේශයක් කරා එළිය පතුරුවා හැරීම අවශ්‍යයි. මේ සඳහා පහන් යොදා ගන්නා අතර ඒවා වෙන වෙනම කෝණයන්ට හරවා තියෙනවා. එහෙම හරවා තැබුවත් නළුවා ආලෝකය වීමේදී අළුතින් එබූ ආලෝක මූලයක් හැටියට ප්‍රේක්ෂකයාට නොපෙනිය යුතුයි.
උදා: නිවෙසක සීලිං ලාම්පුවක් දැල් වේ යයි සිතමු. එයට යටින් ඉදිරියේ සිටින මිනිසාගේ මුහුණට ආලෝකය පතිත වන්නේ කුමන ආකාරයටද? ඒ අනුව ආලෝකය පැතිරීම සිදු විය යුතුය. නමුත් සෙවණැල්ලෙන් මුහුණ වැසෙන නිසා එයට වඩා අඩු එළියක් ඉදිරිවෙන් මුහුණ මත පතිත විය යතුයි. එසේ නොවූ කල කෘත්‍රීම ගතියක් අපට දැනෙනවා. අනවශ්‍ය එළිය, අඳුර, සෙවණැලි ලැබීම නිසා රූපයේ ඇති තාත්වික ගතිය අපට පෙනෙන්නේ නැහැ. මේ අනුව ආලෝකයේ පැතිරෙන ස්වභාව පාලනය කළ යුතු වන්නේ ප්‍රායෝගිකව සොයා බැලීමෙන්මයි. පැතිරීම පාලනය කිරීම සඳහා දැන් පහන් ඉදිරියට ‘බාන් දොර’ හතරක් සවි කිරීමත් සිරිතක්.

වෙනස්වීම් (Movement)
ඉහත සඳහන් කළ අංග තුනම එනම් ප්‍රබල ගතිය, වර්ණ සහ පැතිරීම යන අංග තුන තුළින් ඇති වන ආලෝක සංයෝජනය ඉතාමත් වේගයෙන් වෙනස් කිරීමට, වැඩි කිරීමට හෝ අඩු කිරීමට බලය මෙම හතර වෙනි කොටසට අයත් කාර්යයයි. අපි උදාහරණයක් ගනිමු. හිරු එළිය තදින් පවතින දවාලක කාමරයක්, වේදිකාවේ දී මේ කාමරයට ජනේලය තුළින් හිරු රැස් පතිත වේ. ක්‍රමයෙන් සවස් යාමයට අවතීර්ණ වනවා. දැන් ආලෝකයට මොකද වෙන්නේ, ටිකෙන් ටික අඳුරු පැත්තට බර වෙනවා.
මෙය ප්‍රබලත්වයේ වෙනස් වීම යනුවෙන් හඳුන්වනවා. ඇස් කකියන දවාල හිරු රැස් සවස් වන විට විවිධ වර්ණයන්ගෙන් යුතුව සිසිල් ගතියක් මතු කර මෙය සැඳෑව බව අපට හඟවනවා. මෙය වර්ණයේ වෙනස්වීමයි. දවාල හිරු එළිය දසත පැතිරෙයි. නමුත් සවස් වන විට ටිකෙන් ටික පාලනය වෙනවා. සීමිත ආලෝක ධාරාවන් කිහිපයක් පමණක් ජනේලය තුළින් කාමරයට පතිත වෙනවා. මේ වෙනස් වීම ආලෝකය පැතිරීමේ වෙනස් වීමයි.

Comments

Popular posts from this blog