- රංගාලෝක කාර්යය - 03

පසුබිම ආලෝක කිරීම
පසුබිම ආලෝකනය කිරීමේදී නළුවාගේ මෙන් කුඩා ඉරියව් පිළිබඳ සැලකිය යුතු නැහැ. වැදගත් වන්නේ වේදිකාව මත මවන අවස්ථාව අනුව පසුතලයෙන් පිට අපි නොදකින පැත්තක සිදු වන ආලෝක සංවේදීතාවය හා අපි දකින පැත්ත ඇතුළත එම ආලෝක ප්‍රමාණය අනුව වෙනස් වන මූලාශ්‍ර ගෙන හැර දැක්වීමයි. ගගනිකාව භාවිතා කරමින් හෝ නොකරමින් විවිධ ඵලාප්තියන් මැවීමේදී පසුබිම් ආලෝක කිරීම වැදගත් තැනක් ගනී.
උදෑසන හිරු නැග ඒම, ගිනි මද්දහන, තරු පායා ඇති සැඳෑ අසිරිය, සවස රත් පැහැතිව හිරු බැස යාම (රාස්සිගේ අව්ව), ගන අන්ධකාර මධ්‍යම රාත්‍රිය හෝ වෙනමම සකස් කරන ලද විශේෂ අවස්ථා අයත් වන්නේ පසුබිම් ආලෝකනයට.

විශේෂ ප්‍රයෝග
පසුබිම් හා රංග පසුබිම ආලෝකනය කිරිම මූලික වශයෙන් ශිල්පියා දැන ගත යුතු කරුණු දෙකයි. ඉන් පසුව විශේෂ ප්‍රයෝග සඳහා ඔහු ක්‍රියාත්මක විය යුතුයි.
මේ සඳහා විවිධ බලයන් සහිත ආලෝකනය යොදා ගැනෙනවා. එළිය අඩු වැඩි කළ හැකි යම් යම් පෙළඹවීමක් කළ හැකි උපකරණ කිහිපයක්. ස්වභාවික ආලෝක මූලාශ්‍රයක් හැටියට ගැනෙන සැන්දෑ සමය ගනිමු.
රත්තරන් පැහැයෙන් හිරු බැස යයි. නමුත් එහි වේගයක්, කාල සීමාවක් සහ දීප්තියක් ඇත. මේ තෝරා ගැනීම කරද්දී රංගාලෝක ශිල්පියා පාලනය කළ හැකි පහන් මෙන්ම අධි බලැති පහන් උපයෝගී කර ගන්නවා. කා අතරත් දැකිය හැකි මෙවැනි ශිල්ප අප අතර ඕනෑ තරම් තියෙනවා.
ඒවා තෝරා බේරා ගෙන පර්යේෂණ මට්ටමෙන් කළ යුතු වෙනවා. ප්‍රයෝග ඇති කිරීමේදී නීති මාලාවක් නැහැ. හෙණ පිපිරීම, විදුලි කෙටීම වැනි අවස්ථා සඳහා විවිධ පහන් භාවිතා කෙරෙනවා.

විශේෂ ස්ථිර දෘෂමානවීම්
සාමාන්‍ය වශයෙන් පවත්නා ස්ථිර ස්ථාන හැර වෙනත් ස්ථානවලින් ඒ හා සමානව ආලෝක කිරීම මෙයින් අදහස් වෙනවා. මෙය විවිධ මට්ටම් ස්වරූපවලින් ගත හැකියි. ප්‍රකාශනය අනුව බැලුවහම එක එල්ලේ පුරුදු ලෙහෙසි ගතියක් දැක් වූවත් මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාදාමයක්. උදාහරණයක් හැටියට වේදිකාවම ගන අඳුරු තත්ත්වයක තිබිය දී යොමු පහනක ආධාරයෙන් නළුවෙක් ආලෝකවත් වේ යැයි සිතමු.
ඉන් පසු නළුවා යන එන හැම තැනකම ආලෝකය ගෙන යා හැකියි. නමුත් මෙහි ස්වාභාවික ගතියක් ඇති වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. මෙවැනි ප්‍රයෝග සඳහා භාවිතා කරන තවත් පහන් වර්ගයක් තමයි ස්ට්‍රෝබ් ලයිට් සහ අල්ට්‍රා වයලට් ලයිට්. ඒ විදිහේ පහන් වලින් පවා මතු කරන ප්‍රයෝග විශ්වාසනීයත්වයක් ඇති කිරීමට ගන්නා කෘතිම උත්සාහයක් වෙනවා.

නමුත් හෙන පිපිරීම්, කනත්තක පවත්නා ගුඪ ස්වභාවය මතු කිරීම, විදුලි කෙටීම වැනි අවස්ථාවලට මේ පහන් වලින් විශේෂ ස්ථිර දෘෂ්‍යමානවීම් ඇති කරනවා. ඒවා හුදෙක් විශේෂ ප්‍රයෝග සඳහා පමණක් සීමා වෙනවා.
යොමු පහන් නම් පහන් විශේෂයෙන් යොදා ගත හැක්කේ සංගීත සංදර්ශන, ප්‍රසංගවලට සහ නව නාට්‍යවලදීය.
නමුත් යොමු පහන් යොදා ගෙන ස්වාභාවික නාට්‍යයක් රඟ දැක්වීමේ හැකියාව නැත්තේ නොවේ. වේදිකාවේ රෝද පුටුවක හිඳගෙන සිටින චරිතයක් තියෙනවා කියලා හිතමු. එම පුටුව එහාට මෙහාට ගමන් කරන විට ස්ථිරවම එම චරිතය සහ අවස්ථාව නාට්‍යයේ මුල සිට පැමිණි කතා වස්තුව හා බැඳී පවතී නම් මෙවැන්නෙකු ආලෝකවත් කරද්දී ප්‍රේක්ෂකයාගේ දැහැන නොබිඳී සෙමෙන් පහන් දැල් විය යුතු සේම ආලෝකයේ එහා මෙහා වීම් ක්‍රමානුකූල විය යුතුයි.

විශේෂයෙන් ෆලෝ ස්පොට් පහන් ඕනෑම අතකට හැසිරවිය හැකි නිසා කෝණයක් සෑදෙන විට පහනේ මුලින් සිදු වන අංශක ගණනේ එහා මෙහා වීම අගින් මහා විශාල කෝණයක් වන්නට පුළුවන්.
එය ඉතා සුළු තිගැස්සීමකින් විය හැකිය. පහන් භාවිතයේදී එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රේක්ෂකයාට බාධාවක් වනවා විතරක් නෙමෙයි, පහන එල්ල වන්නේ කොහෙන්ද කියන එකත් හැඟෙනවා.
එවිට නිර්මාණයේ රසයට කුමක් වෙයිද? එම නිසා මෙම පහන් යොදා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි.

ත්‍රිමාණ බව
යම් කිසි රූපයක එළිය, අඳුර වැටීමේ ආකාරය මත ත්‍රිමාණභාවය රඳා පවතිනවා. ඒ අනුව රූපයේ පැතලි ස්වභාවය නැති වී ගැඹුරු තැන් ඒ ආකාරයෙන් දැක ගත හැකියි. මෙවැනි ත්‍රිමාණභාවයන් චිත්‍රයකදී නම් වෙනස් වර්ණ යොදා ගෙන පින්තාරු කළ හැකියි. ආලෝකය ලැබෙන පහනක වර්ණය එක් තැනක් තදටත් තවත් තැනක් ලා පැහැයටත් තිබිය නොහැකියි.
මේ නිසා රංගාලෝක ශිල්පීන් පහන් කිහිපයක ආධාරය ලබා ගන්නවා. විවිධ කෝණ වලින් එල්ල වන පහන්වල ආලෝක ධාරාවන් සහ වර්ණ මෙම ත්‍රිමාණභාවය රැක ගැනීමට උපකාරී ;වනවා. මේ සමඟම තවත් ගැටළුවක් මතු වෙනවා. දර්ශනයෙන් දර්ශනයට මේ ත්‍රිමාණභාවය රැක ගන්නේ් කොහොමද? එහිදී පහන් කාණ්ඩ භාවිතා වෙනවා. යුරෝපීය රංග ශාලාවල මෙවැනි කොටස් කිහිපයක් දර්ශන කිහිපයක් සඳහා වෙන වෙනම සකස් කර එල්ලා තිබෙන්නේ ඒ නිසයි. එවැනි සකස් කිරීමකට අඩුම වශයෙන් පහන් තුන් සියයක් පමණ භාවිතා කළ යුතු වේ. ලංකාව වැනි රටක රංග ශාලාවක තිබෙන සම්පූර්ණ පහන් ප්‍රමාණයම තිහක් පමණ වෙනවා.

සමහර රංග ශාලාවල තියෙන්නේ පහන් අටක් දහයක් පමණයි. එයිනුත් දැල් වෙන්නේ හතරක් හෝ පහක් පමණයි. මේ නිසා ප්‍රායෝගික වශයෙන් මේ ගැටලුව ජය ගැනීමට මහත් වියදමක් දරන්නට සිදු වෙනවා. රංගාලෝක ශිල්පීන් මේ අභියෝග ජය ගැනීමට නොයෙකුත් ප්‍රයෝග භාවිතා කරනවා.
ආධුනිකයකුට ත්‍රිමාණභාවය එක වරම හඳුනා ගැනීම අසීරුයි. එය පළපුරුද්දෙන්ම වටහා ගත යුතුයි. එයට කළ හැකි හොඳම ව්‍යායාමය වන්නේ දකින දකින රූප පසුපබිම් තුළ කොතරම් දුරට ගැඹුරක් ඇත්ද? එම ගැඹුර ඇති වූයේ කෙසේද? ඒ සඳහා ආලෝකය කොතරම් දුරට බලපෑමක් ඇති කළේද? යන්න හොඳින් සොයා බලා එවැනි තත්ත්වයක් වේදිකාවේදී කුමන ආකාරයට හැසිරවිය හැකිද යන්න පිළිබඳව ස්වයං අධ්‍යයනයක යෙදීමයි. රංගාලෝක ශිල්පීන් ඇසුරෙන් ඒ සඳහා ඔවුන් භාවිතා කරන ප්‍රයෝග පිළිබඳ ඊළඟට අධ්‍යයනය කළ යුතු වේ.

විශේෂ සටහන
එළිය, අඳුර, ආලෝකය සමඟ කතා කරන ප්‍රධාන කොටස් දෙකක්. මෙහි ප්‍රභේද කොපමණ ඇත්ද? ආලෝකය වෙනස් වන්නේ දිවා රාත්‍රී යන කාල දෙකට පමණද? මෙපමණක් හඳුනා ගැනීම ප්‍රමාණවත් නොවේ.
එම සීමාවන් අභිබවා යද්දී දවස තුළ ඇති වන හිමිදිරිය, උදෑසන, පෙරවරුව, මහ දවාල (ගිනි මද්දහන), පැහැදිලි අහස, කළු ගැසුනු අහස, සැන්දෑ අහස, රාස්සිගේ අව්ව, ගොම්මන වැනි වෙනස්කම්ද රාත්‍රිය තුළ ඇති වන සඳ ඇති අහස, සඳ නැති අහස, තරු පිරුණු අහස වැනි වෙනස්කම් කොතරම් ආලෝක මුලාශ්‍ර සපයනවාද? ඒ වගේම ගනි මැලයක එළිය, රාත්‍රී පහන් කණු ආලෝකය, විදුලි කෙටීම, සිර කුටියකට ආලෝකය කාන්දු වීම වැනි ආලෝකයේ ප්‍රයෝග ගැන කොපමණ අධ්‍යයනය කළත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
ඊළගට මෙම කුමන ආලෝක තත්ත්වයක් යටතේ වුවත් නාට්‍යයේ නළු නිළියන් එම කතාවේ මුඛ්‍ය අදහසට අනුව පෙන්වන මනෝභාවයන්, බාහිර අලංකාර යන මේ සියළු කාරණා ප්‍රේක්ෂකයින්ට පෙන්වීමේ දී රංග ආලෝකයටත් විශේෂ රාජකාරියක් පැවරෙනවා. මේ සියළුම තත්ත්වයන් අධ්‍යයනය කිරීම රංගාලෝකයේ කාර්යයට අදාල වෙනවා. ඒ අනුව මෙවැනි නිර්වචනයක් රංගලෝකයේ කාර්ය ගැන පැවසීමට සුදුසු යයි හිතෙනවා.

නාට්‍යයේ චරිත සහ ඒ චරිත වටා ඇති පසුබිම හොඳුන් හඳුනා ගෙන චරිත, සිද්ධීන් සංකේත සහ අවස්ථා නිෂ්පාදකයාට මනාප පරිදි ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය කිරීම රංගාලෝකයේ කාර්යයයි.
නළු නිළියන් සහ විවිධ ශිල්පීන් එකතුව ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එනු ලබන නිර්මාණයේ ජීවය පවතින්නට නම් රංගාලෝකයේ මෙහෙවර අත්‍යාවශ්‍ය වෙනවා.
ඒ අතින් රංගාලෝකය වේදිකාවේ භාෂාවක් කියන්නට පුළුවන්.

Comments

Popular posts from this blog